2011/04/30

අන්තිම පෙත්ත


ශේන්යා ශේන්යා
මමයි උඹේ වීත්යා

හැන්දෑවක උඹත් එක්ක
හිනා වෙවී හරි හරියට
අත අල්ලං ඇවිද යන්න
වරමක් උඹගෙන් ඉල්ලන
මමයි උඹේ වීත්යා
තහනම් කල වීත්යා

උඹෙ ලෝකෙට එන්න බැරුව
උඹ ලඟ ගැවසෙන්න බැරුව
කඳුළු වලින් දින ගණිනා
මමයි උඹේ වීත්යා
විලංගු ලූ වීත්යා

විසිකෙරුවත් පෙති හයක්ම
උඹේ සිහින ලෝක වලට
හත් වෙනි අවසාන පෙත්ත
තියා ගනින් මා වෙනුවෙන්
මල් නටුවෙන් සිඳින්නැතිව

මගේ පැතුම් ඉටිපන්දම්
ඔක්කොම අවසන්ය සිතා
උයනේ බංකුව කෙලවර
මා හඬනා උදෑසනක
ඇවිදින් මගෙ ඇස් මානෙට
කඩපන් අවසාන පෙත්ත

වීසි කරන්නට කලියෙන්
අවසන් නිල් පාට පෙත්ත
අතැඟිල්ලක දවටා එය
ගයන් උඹේ සීනු හඬින්
උඹට උරුම පුරුදු ගීය
කියන්න රහසින් මේ ලෙස

"මල් පෙත්තේ මල් පෙත්තේ
උතුරු දෙසට දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරට
කැරකීලා ඇවිත් බිමට
ම'කියන දේ කරදෙන් මට"

"වීත්යාට තටු ලැබෙන්න
මගෙ ලෝකෙට ඉගිල්ලෙන්න"

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2011 අප්‍රේල් 30

8 comments:

  1. ලස්සනයි යාලුවා.. මමත් පොඩි කලෙ "හත් පෙති මල" කියවල තියෙනව. මේක කියවද්දි මට අයෙත් ඒ කාලෙ මතක් උනා..

    ReplyDelete
  2. ශේන්යා ගේ දේදුනු මල
    ගෙනත් දෙන්න මගේ අතට
    ශේන්යා ගේ සීනු හඩින්
    කිව යුතු එය මෙන්න මෙහෙම

    මල්පෙත්තේ මල්පෙත්තේ
    උතුරු දෙසට දකුණු දෙසට
    බටහිරටත් නැගෙනහිරට
    ඉගිල ඉගිල මේ සැම දෙසට
    කැරකීලා ඇවිත් බිමට
    මා කියනා දේ කර දෙන් මට

    ලෝකෙ ඉන්න මිනිස්සුන්ට
    උනුවන හදවතක් දෙන්න
    ඉරිසියාව බොරු මානය
    මේ හැම දෙය ඉවතලන්න
    තමන් වගේ අනෙක් අයත්
    ජීවත් වන බව සිතන්න

    ReplyDelete
  3. ඇත්තටම මම ආසයි. මේ කථා වලට. මේ අදහස මගේ හිතට එකතු කලේ අමුතු හැඟීමක්.

    අහඹු ලෙස දුටු
    නුඹේ මේ කව් පෙලින්
    මා සිතෙහි යලිත්
    ළදරුවෙක් වී
    යැයි හැඟුමකට
    ඉඩ සැදුනි.

    ReplyDelete
  4. අලුත් සංකල්පනාවක් යාලුවා.... ළමා කාලෙයි තරුණ කාලෙයි එකට වෙළලා හදපු හිතට අමුතු හැඟීමක් දෙන නිර්මාණයක්....

    ReplyDelete
  5. ස්තූතියි යාලුවා...මොහොතකට හදවත උණුසුම් කලාට.....

    ReplyDelete
  6. බොහොමත්ම ස්තූතියි ඔබ සියළුදෙනාටම..!

    ReplyDelete
  7. ලස්සනයි යාලු....ඊට වඩා නියමයි.....ඊටත් වඩා එළ

    ReplyDelete
  8. හරසුන් පැතුම්
    හයකට ම
    සයක් පෙති
    අහිමි කර ගත්
    ඉක්බිත්තේ ය
    මුණ ගැසුණෙ

    විත්යා!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!