2015/02/14

ආදරේ ලස්සන ද හැමදාම?


දියට පැන සියදිවි හානි කර ගත්
නවයොවුන් පෙම් යුවලක් පිළිබඳ
ඇසීමෙන් පසු ඔහේ ලියවුණි.

කවදාත් ඉක්මන්ය
අපේ කලබල වීම
එහෙත් මේ හදිසි තීරණය
අවසාන එකම ය
කොයි තරම් සැනසුම් ද
මුල් ටික හුඟක් රිදුණාට

පුයර තවරා සිනිදු කෙරුවාට
වටට පෙනෙනට හැඩට
ආදරේ ලස්සන ද හැමදාම?
පැලුම් පිපිරුම් හොරෙන් වැහුවාම
නොරිදේ ද හිතක් ඉරිතැලුවාම?

එකතු විය මහ ගොඩක් හරි බරට
ඇයට මට හැර කාට
නොපෙනෙනා කඳුළු දිය හිත මැදට
පිට නොවන ලෙස වාන වැහුවාම
ගිලෙන එක හුරු වුණේ පෙරදාම

ආදරේ සමරලා එක දිනෙක
සටනකින් පැරදිලා පසු දිනෙක
නැතොත් සටනකුත් නැති හිස් හිතක
හැර යාම වාගේ ද - හැමදාම
අපව එක්කල අපේ හැර යාම

නොහඳුනන අය නොදන්නා අය
ගසන කෙල පිඬු, ලියන සහතික 
ඔව් ඉතින් ඔබ සැවොම එක ලෙස
කිරිසුදුයි පිරිසිදුයි - අප හැර

කමක් නෑ ගරහන්න
නැති දේත් පතුරන්න
අද උදෙන් නැගිටලා
ආදරෙත් සමරන්න
යලි පහුවදා ඇවිත්
හුරු ලෙසින් ගරහන්න

ඔබ කුමක් දුටූව ද
ඔබ කුමක් සිතූව ද
ඔබ කුමක් කියූව ද
ඔබ කුමක් ලියූව ද
මේ හදිසි තීරණය
අවසාන එකම ය
කොයි තරම් සැනසුම් ද
මුල් ටික හුඟක් රිදුණාට


සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2015 පෙබරවාරි 14

2 comments:

  1. ඒක කෝණයක් තමයි සහන්............... අැත්තට ම අපේ තරුණ පරපුරට නැත්තේ අාදරය නෙමෙයි... අාදරය කිරීමට අාකල්පමය සූදානම අපි හදලා නැහැ.. අපි ඒපා ඒපා කිය කිය වහනවා මිසක් කරන්න ඔ්නේ කොහොමද කියලා ඔවුන්ට කියලා දීලා නැහැ... ඒ වටපිටාව අපි හදලා නැහැ..... ඉතින් ඔවුන් ගන්නා තීරණ ගැන අපි පස්සේ දොස් කියලා වැඩක් නැහැ.................

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!